Tuesday, November 22, 2011

Delhi Belly - වෙනස් ආකාරයේ බොලිවුඩ් සිනමා අත්දැකීමක් (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි )

මේ ටික දවසකට කලින් බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක් . නැවතත් පල කරන්නේ නොබලපු කෙනෙකුගේ දැනගැනීමට . විශේෂයෙන්ම Delhi Belly චිත්‍රපටිය කියන්නේ ටිකක් වෙනස් ආකාරයක බොලිවුඩ් චිත්‍රපටියක් . බොලිවුඩ් කියන්නෙ ගස් වටෙන නටන එක විතරයි කියන මතයේ ඉන්න අයගේ අදහස වුනත් වෙනස් වෙයි මේ චිත්‍රපටිය බැලුවොත් . මේ චිත්‍රපටිය වගේම පහල තියන ට්‍රේලරයත් වැඩිහිටියන්ට තමයි වැඩිය සුදුසු (වැඩිහිටි කිව්වාට අවුරුදු  15/16ක්  කෙනෙකුට නම් අවුලක් වෙන එකක් නැ :) )

කථාව

ටාශි නිතින් සහ අරුප් කියන්නේ දිල්හි නගරයේ අපිරිසිදු මහල් නිවාසයක බොහොම අපිලිවෙල ජීවිත ගත කරන තුන් දෙනෙක් . වෘත්තියෙන් මාධ්‍යවෙදියෙක් වුනු ටාශිත් ඔහුගේ මිතුරනුත් අමුතු ඇබැද්දියකට මුහුණ පාන්නේ ටාශිගෙ පෙම්වතිය ලබාදෙන පාර්සලයක් නිසා . මේ සම්බන්ධ සිදුවීම් ජාලය තමයි බොහොම හාස්‍යෝත්පාදක ආකාරයට දිල්හි බෙලි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ


නිල ප්‍රචාරක පටය (uncensored )






අපේ අදහස |Editor's Comments
  • වැඩිහිටි රසාස්වාදයට සුදුසු කොමඩි වර්ගයේ චිත්‍රපටියක් විදිහට තමයි අමීර් කානුත් මේ නිර්මාණය නම් කලේ , ඒ අතින් ඉතාම සාර්ථක ලෙස මේ චිත්‍රපටය එම කාර්යය ඉටු කරනවාය කියල කියන්න පුලුවන්
  • කොමඩි චිත්‍රපටියක් උනත් අධිරංගනයන් භාවිතා නොකර යථාර්තවාදී චරිත හා සිදුවීම් හරහා ඒ හාස්‍යය මතු කරන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනව
  • සමාජීය ලක්ෂණ සමහරකට වගේම බොලිවුඩ් සිනමාවේ ඇතැම් තැන් වලට පවා අලංකාර ලෙසින් පහර දෙන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව
  • ලිංගික දර්ශන වශයෙන් නම් යමක් නැති උනත් (සිප ගැනීම් හැර ) පාවිච්චි කරන වචන වගේම ඇඟවීම් වගේ දේවල් නිසා කුඩා දරුවෙකුට නම් කිසිසේත්ම සුදුසු නැ , අඩුම තරමේ වයස 16ක් වත් වුන කෙනෙක් විය යුතුයි කියලයි අපේ නිර්දේශය
  • රංගනය , අධ්‍යක්ෂනය , සංස්කරණය ඇතුලු චිත්‍රපටියේ සියලු අංග නිර්මාණයෙ තේමාවට අදාල ඉතාම හොඳ මට්ටමේ පවතිනව කියල කියන්න පුලුවන්
  • ඉහලින් තියන නිල ප්‍රචාරක පටය චිත්‍රපටිය පිලිබඳ ඉතාම නිවැරදි සාම්පලයක් කිව්වොත් නිවැරදියි , අනිවාර්යයෙන්ම ඒක බලන්න ඔබේ ඒ විඩියෝව හිතට අල්ලනවා නම් ඔබ චිත්‍රපටියටත් කැමති වෙන එක සහතිකයි
  • අපි සඳහන් කරල තියන කරුණු කාරණා ඔය නිල ප්‍රචාරක පටියෙන් බලාගන්න පූලුවන් ,සාමාන්‍ය බොලිවුඩ් රසිකයෙකුට විතරක් නෙවෙයි ඕනිම චිත්‍රපටි රසිකයෙකුට මේ චිත්‍රපටිය අපුරු වින්දනයක් එක කරාවි
Our Overall Rating - 4/5



චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Delhi Belly - Hindi - DVDRip - XviD - 1CDRip - [DDR]

(ඉහත සෙවුම් පද දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )

Monday, September 12, 2011

Singham චිත්‍රපටයේ විචාරය |Singham Movie Review



NOTE - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන් " බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි . මේ පල කරන්නේ එහිදී නොකියවූ අයෙක් වේ නම් ඔවුන් වෙනුවෙනි

මේ වසරේ තිරගත වුණු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුන Singham චිත්‍රපටිය ගැන මූලික තොරතුරු අපි ඔබට අරන් ආවා DVD පටය නිකුත් විම පිලිබඳ ලිපියෙදි . මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන් . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විචාරය

කථාව

බාජි රාවො සින්ගම් කියන්නේ ගෝව- මහා රාෂ්ට්‍ර ප්‍රාත්න සිමාවේ පුංචි ගමක සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක් . ගමේ ධනවතෙකුගේ පුතෙක් වුනු සිංගම් පොලිස් පොතේ ලියනවට වඩා තමන්ම මැදිහත් වෙලා ගමේ ප්‍රශ්න විසඳන එක තමයි කරන්න කැමති . ඒ නිසා ගමේ ඉන්න සියලු දෙනාම සිංගම්ය ආදරෙයි .ජය කාන්ත් ශිකරේ කියන්නේ ගෝව ප්‍රදේශයේ මැරයෙක් . දේශපාන ශකිතිය නිසා පොලිසිය අල්ලේ නටවාගෙන ඉන්න ශිකරේට , අපරාධ නඩුවක් ඇප සිද්ධියක් නිසා සිංගම් ගේ පොලිස් ස්ථානයේ අත්සන් කරන්න යන්න සිද්ධවෙනවා . ඒ සඳහා වෙන කෙනෙක් යැවීමත් , සිංගම් ඒක පිලි නොගැනීමත් නිසා තමයි මේ දෙන්නා අතර ගැටුම පටන් ගැනෙන්නේ ....

Editor's Comments | අපේ අදහස
  • ඉතාම සාම්ප්‍රදායික කථා තේමාවක් බව බැලු බැල්මට පේනවා ඇති . ඒ වුනත් මේ සරල කථා තේමාව ඇතුලේ ඉන්දියාවේ (ලංකාවටත් අදාලයි ) ප්වතින යථාර්තයකටත් එබිමක් කරනවා කිව්වොත් වඩාත් නිවැරදියි . දුෂිත දේශපාලනය නිසා අපාරාධ කාරයින් වැජඹීමත් පොලිස්ය අසරණ වීමත් මේකෙදි හොඳින්ම දකින්න ලැබෙනව
  • සාම්ප්‍රදායික කථාතේමාවක් උනත් කථාවේ ගලායාම හා අවසානය යම් තාක්දුරකට තාත්විකයි . ඉස්සර සිනමා පටවලදි දකින්න තියන සුපුරුදු අවසානයට වඩා වෙනස් , එක්තරා දුරකට ආදර්ශමත් (ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ක්‍රමය නිසා ප්‍රායෝගික ) අවසානයක් තමයි දකින්න තියෙන්නෙ
  • දෙමල චිත්‍රපටියක් ආශ්‍රයෙන් නිපදවුනු නිසා ඒ ලක්ෂන සහිත ක්‍රියාදාම දර්ශන තමයි දකින්න තියෙන්නෙ . ඉතාම විශාල වියදමක් දරල තිබුනත් චිත්‍රපටියේ වටිනා කම සම්පූර්ණයෙන්ම හානි වෙන "බොලඳ " ක්‍රියාදාම දර්ශන තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ . ඔබ දෙමල චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි නම් ක්‍රියාදාම දර්ශන ටික අමතක කරල කථාව බලා හිටියොත් හොඳයි . නැතනම් ඒ දර්ශන නිසා චිත්‍රපටියත් එපා වෙන්න පුලුවන්
  • සරල වින්දනාත්මක සිනමා පඨයක් වශයෙන් හොඳ හාස්‍ය උත්පාදක දර්ශනත් , කම්මැලි කමක් නොදැනෙන ගලා යාමකුත් චිත්‍රපටියේ දකින්න් තියනව

Ratings


  • Direction -3/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 3.5/5
  • Script - 3/5
  • Cinematography - 2/5
  • Music -2/5
  • Choreography -25
  • Art Direction - 3/5
  • Action - 1/5
  • Editing - 3/5
  • Special Effects - N/A
  • OVERALL -3/5

Sunday, August 21, 2011

නිල් සඳමඩෙලෙන් Centigradz අනෙන්‍යතාවය නැවතත්

ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයට අලුත් මානයක් එකතු  කරපු සංගීත කණ්ඩායමක් විදිහ්ට  සෙන්ටිග්‍රේට්z සංගීත කණ්ඩායම හඳුන්වන්න පුලුවන් . නවීන තාක්ෂනය මුසු කරපු සංගීත කණ්ඩයන් ඕනි තරම් බිහි වුනත් ගීතයක් ඇහෙන කොටම මේ නම් සෙන්ටිග්ට්‍රෙz ගීතයක් කියල නිශ්චිතව හඳුනාගන්නට පුලුවන් තරමේ  අනෙන්‍යතාවයක් මොවුන් රඳවා ගත්තාය කිව්වොත් නිවැරදියි . ඒ අනෙන්‍යතාවය එහෙමම රැක ගත්ත ඉතාමත් ළයාන්විත , අලංකාර ගීතයක් වුනු "නිල් සඳ මඬල" ගීතයේ විඩියෝ පටය නිකුත් වෙලා තියනව . බාගත කරගෙන රස විඳින්න . මේලෝ රහක් නැති ගීත ගොන්නක් අතර හිරවෙලා ඉත්දි අහන්න ලැබුනු සුවීශේෂි ගීතයක් කියල ඔබටත් දැනෙයි .  බාගත කරගැනීම වෙනුවෙන් වැය කරන දත්ත ප්‍රමාණය/කාලය අපතේ නොයැවුනු බවත් දැනෙයි

Download the video - Nil Sanda Madala by Centigradz - from Music.lk


Buddha Hoga Tera Baap චිත්‍රපටියේ විචාරය |Buddha Hoga Tera Baap Review

Note - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද ලිපියකි . එහිදී නොකියවූ අය වෙනුවෙන් මෙහිද පල කරමි


බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විවරණය

01)Article 01
02)Article 02
03)DVD OUT

චිත්‍රපටියේ කථාව ගෙතිල තියන විදිහට ඒ ගැන යමක් සඳහන් කරන එක ඔබගේ රසාස්වාදයට ලොකු බාධාවක් වෙන්න පුලුවන් . මුල්ම ලිපියෙදි සඳහන් කරපු විදිහට අමිතාබ් බච්චන් හැත්තැව අසූව දශක වලදි රඟපාපු ආකාරයේ පාතාල සමාජික චරිතයක් තමයි මේ චිත්‍රපටියෙදිත් කරන්නෙ කියන එක මතක් කරන්න ඕනි . වයසට ගිය ඒත් හිතින් තරුණ සහ දක්ෂ පාතාල කල්ලි සමාජිකයෙකුගේ චරිතයක් තමයි අමිතාබ් කරන්නේ.

Editor's Comment | අපේ අදහස

  • මේ චිත්‍රපටිය නිමවුනේ අමිතාබ් වෙනුවෙන්ම බව තමයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා ප්‍රකාශ කලේ , ඒ වගේම ඉතින් චිත්‍රපටිය සම්පූර්නයෙන්ම ගෙතිලා තියෙන්නෙත් අමිතාබ් රඟපාන විජ්ජු කියන චරිතය වටා , විජ්ජු කථාවට ඇතුල් වුන තැන ඉඳන් රූප රාමු දෙක තුනක් ඇරුණාම ඉතුරු සියලු දර්ශන වල අමිතාබ්ව දකින්න පුලුවන්
  • චිත්‍රපටියේ කථාව සැහෙන තරමින් හොඳයි කියල කියන්න පුලුවන් . බොහොම සරල කථාවක් උනත් නොහිතන විදිහේ වෙනස් වීම් , විනෝදාත්මක ජවනිකා වගේම හොඳ ආදර්ශයකුත් මේ කථාවේ අඩංගුයි
  • චිත්‍රපටිය රුගත කිරීමේදි වර්ථමාන සිනමාවට අදාල කැමරා කෝන ආදිය භාවිතා කරල තිබුනත් . ක්‍රියාදාම දර්ශන සඳහා නම් භාවිතා කරල තියෙන්නේ අමිතාබ් ඒ කාලේ රඟපාපු චිත්‍රපට වල ක්‍රමයම තමයි . සිනමාවේ විර චරිතය ඉස්මතු කරන්න ඒ කාලේ භාවිතා කරපු රූප රාමු ආදියත් මේ චිත්‍රපටියේ තියනවා. අද කාලේ චිත්‍රපටියක ඒ වගේ දර්ශන දැක්කාම අස්භාවික හා බොලඳ ගතියක් දැනුනත් අමිතාබ්ගේ රංගනයත් නිසා මේ චිත්‍රපටිය ගැන නම් එහෙම දැනෙන්නේ නැ
  • සැහෙන තරම් හොඳ මට්ටමේ සංගීතයත් භාවිතා කරල තියන මේ චිත්‍රපටියේ අමිතාබ් ගෙ රංගනය නම් ඉතාම සුපිරියි . චිත්‍රපටියේ රසවින්දනය සම්පූර්නයෙන්ම පාදක වෙන්නේ ඔහුගෙ රංගනයත් එක්ක
  • ඔබ අමිතාබ් ගේ රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔබේ සිත්ගනියි , එහෙම නොවුනත් බොහොම සරල විනෝදාත්මක චිත්‍රපටියක් බලන්න කැමති ඕනිම කෙනෙකුට මේ චිත්‍රපටිය ගැලපෙනව කියල කියන්න පුලුවන්
  • චිත්‍රපටියේ එන ක්‍රියාදාම විතරක් නෙවෙයි නැටුම් දර්ශන වල පවා අමිතාබ් සලකුන රැදීල තියන බවත් අමිතාබ්ගෙ රසිකයින් වෙනුවෙන් සඳහන් කරන්න ඕනි
Ratings



  • Direction -3/5
  • Celebrities' Performance -4/5 (Credit Goes to BIG B )
  • Story - 3/5
  • Script - 3/5
  • Cinematography - 2.5/5
  • Music -3/5
  • Choreography -2.5/5
  • Art Direction - 2/5
  • Action - 2.5/5
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.75/5

Saturday, August 6, 2011

භාතිය - සන්තුශ්ගේ දේදුන්න සේදී සමඟින් ඉරාජ්ගේ පොලිසිය


From Music.lk
ඉරාජ්ගේ පොලිසිය ගීතයේ විඩියෝවත් ඊයේ නිකුත් වුනා , භාතියල්-සන්තුෂ්ගේ දේදුන්න සේදී ගීතයේ විඩියෝව මට බලා ගන්න ලැබුනෙත් ඊයේ .නව පරපුරේ සංගීතවේදීන් දෙපිරිසකගෙ එකිනෙකට හාත්පසින් වෙනස් මේ ගීත දෙකත් , විඩියෝ පට දෙකත් මතු කරන්නේ අමුතුම රසාස්වාදයන් . ඒ ගැන කථා කරන්න කලින් මේ විඩියෝ පට කලින් නොදැකපු කෙනෙක් ඉන්නව නම් අදාල සබැඳි|විඩියෝ පට  පහලින් තියනව



Download the video - Dedunna Sedi by Asha Bhosle, Bathiya and Santhush - from Music.lk

දේදුන්න සේදී ගීතය අහන්න ලැබිල නම් මේ වෙනකොට ගොඩක් කල් , භාතියලගේ සරා සිහින ඇල්බමයේ එන ජනප්‍රියම ගීතයක් විදිහටත් හඳුන්වන්න පුලුවන් මේ ගීතයේ තියන ලොකුම විශේෂත්වය භාරතීය ගායිකා ආශා බෝශ්ලේගේ දායකත්වය , ඉතාම ලයාන්විත මිහිරි ගිතයක් විදිහට ගොඩක් දෙනෙක්ගේ හිත ගත්ත දේදුන්න සේදී ගීතයේ විඩියෝවත්  ගීතයේ අරුත ඉතාමත් අලංකාවර රූපයට නඟපු අවස්ථාවක් කියල හඳුන්වන්න පුලුවන්

හරිහරන් සමඟ ගායනා කරපු ගීතය ඇතුලු භාතියලගේ මෑතකාලීන බොහොමයක් ගීත වේග රිද්ම ගනයට අයත්වුනු නිසා (සරා සිහින රහසේ ගීතය ඇරුණාම ) නිකුත් වුනු විඩියෝ පටත්  ගත්තේ ඒ  ශෛලියම තමයි . ඒ නිසා මේ විඩියෝ පටයත් භාතිය සන්තුෂ් රසිකයින්ට  සුවිශේෂියි .
ප්‍රවින ඉන්දියානු ගායිකාවට ලැබිය යුතු ගෞරවයත් ලබා දෙන අතරෙම ගීතයේ අන්තර්ගත දුක්මුසු ආදර අන්දරය  ඉතාම කලාත්මකව රූපයට නඟන්න මේ විඩියෝ නිර්මාණ ශිල්පියා සමත් වෙලා තියනව . ඒ සඳහා භාවිතා කරල තියන වර්ණ , දෘෂ්‍ය ප්‍රයෝග , කැමරා කෝණ හා චලනයන්  ඉතාම විශිෂ්ටයි . කලාත්මක  බවක අංශු මාත්‍රයක් වත් රැඳිල නැති චිත්‍රපට , ටෙලිනාට්‍ය බිහිවෙන රටක ගීත රූපරචනා කලාව හෝ මේ වගේ උසස් කලාත්මක බවක් දැරීම සතුටට කාරණයක්

බොහෝ වෙලාවට එකම අච්චුවට දාල කථා කලත් ඉරාජ් සහ භාතියලාගේ සංගීතය අතර පැහැදිලි වෙනස් කම් තියන බව ඒ පිලිබඳව අවධානයෙන් ඉන්න කෙනෙකුට නම්  හොඳින් පේන කාරණයක් . ඉරාජ්ගේ පොලිස් විඩියෝවත් සාමාන්‍ය ඉරාජ් රටාවේ ගිතයක් විදිහට තමයි හඳුන්ව්න්න පුලුවන් . ඉතාම සරල තනුවක් සිංහල රැප් මාලාවක් කියන තමන්ගේ සුපුරුදු මොඩලය අනුවම ඉරාජ් මේ ගීතය නිර්මාණය කරල තිබුනත් මේ ගීතයේ පදමාලාවේ හා රූප රචනයේ විශාල වැදගත් කමක් තියනව . "ගේමක් දීලා" ගීතයෙන් ඉතාම සෘජුව එහමත් නැතන්ම් "අමුවෙන්ම " කරපු සමාජ විවේචනය මේ පාර  අලුත් විදිහකට කරන්න ඉරාජ් සමත් වෙලා  තියනව . දකින වරද කෙලින් නොකියා ඊට සම්පූර්ණ විරුද්ධාර්තය ඉදිරිපත් කරන එක  ඔලුව අතගාන ගමන් පිහියෙන් අනින් වැඩක් . විජය කුමාරනතුංග පොලිස් කථාබහ , ගීතයේ අන්තිමට ඉදිරිපත් කරන පුවත් කොටස් සහ ඉරාජ්ගේ ප්‍රාර්ථනාව  වගේ දේවල්   අපුරුවට ගලපපු රූප රාමුත් එක්ක මුසු වුනාම මතු කරන්නේ අමුතුම විදිහේ හාස්‍ය රසයක් . මැත කාලීනව බිහි වෙච්ච හොඳම උපහාස්ත්මක කලා නිර්මාණය මේ "පොලිසිය "  ගීතය කියලයි මම නම් හිතෙන්නේ
විවිධ හැඩතලයේ ගීත , ජාත්‍යන්තර කලාකරුවන් සමඟින් එකතුව බිහි කරන්නටත් , ඒවාට වින්දනීය රූප රාමු එකතු කරන්නටත් භාතිය- සන්තුෂ්ට හැකිවේවායි කියල ප්‍රාර්ථනා කරන ගමන් සරලව සහ බොක්කට දැනෙන විදිහට සමාජය විවේචනය කරන්න ඉරාජ්ට ත් හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව

Wednesday, July 27, 2011

Double Dhamaal චිත්‍රපටියේ විචාරය | Double Dhamaal Review

මේ ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි .

------------------------------------------------------

Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල විචාරය

කථාව

මේ චිත්‍රපටියේ කථාව කලින් චිත්‍රපටිය වුන Dhamaal චිත්‍රපටියේ කථාවේ අවසානයේ සිට ආරම්භ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ(ඒ චිත්‍රපටිය නරඹලා නැති නිසා හරියටම කියන්න බැ ) කොහොම උනත් අලුතෙන්ම රසවිඳිනත් කිසිම බාධාවක් නැහැ .ආඩි, බෝමන් , මානව් සහ රෝයි කියන්නෙ තමන් නුවණක්කාරයි කියල හිතාන ඉන්න ඒත් බොහොම මෝඩ යාලුවො හතර දෙනෙක් . කබීර් කියන්නෙ මේ අයට කලින් මුණගැහිල තියන (පොලිස් නිලධාරියෙක් වෙලා හිටපු ) කෙනෙක් / රස්සාවක් නොකර ඉන්න යාලුවො 4 දෙනා කබීර් බොහොම පොහොසත් වෙලා ඉන්නව දැකල කබීර් හරහා පහසුවෙන් මුදල් උපයාගන්නයි උත්සහ කරන්නේ නමුත් ඔවුන් නොදැනීම අහුවෙන්නේ කපටියෙක් වුන කබීර්ගේ ගැටයකට ....

අපේ අදහස |Editor's Comments

  • චිත්‍රපටියේ කථාව හාස්‍යෝත්පාදක නිර්මාණයකට අපුරුවට ගැලපෙන බව පේනවනේ . ඒත් කථාවේන් ලැබෙන ඒ දායකත්වය අතාත්වික අධිරංගන සහ දුර්වල තිර රචනය නිසා විනාශ වෙලා කිව්වොත් වඩා නිවැරදියි
  • චිත්‍රපටියේ ආරම්ඹයේ ඉඳලම හාස්‍ය ලබා දීමට අවස්ථා එකතු කරල තිබුනත් ප්‍රධාන චරිත වුනු මිතුරන් 4 දෙනාගෙ හැසීරීම් බොහොම අතාත්විමයි . "ඕනිවට වඩා දඟනලව" කියල කියන්න පුලුවන් හැසිරීමක් තියෙන්නේ . ඊට අමතරව මූලික කථා තේමාව ඇතුලේ මවන ඇතැම් සිද්ධීන් ඊට වඩා තාත්වික ආකාරයට කිරීමේ හැකියාවක් තිබුනාය කියලත් පේන්න තියනව
  • කලින් කිව්ව හේතු නිසා ටිකක් විතර විකාර ස්වරූපයක් ගත්තත් හාස්‍යෝත්පාදක පැත්තෙන් නම් චිත්‍රපටිය යම් තාක් දුරකට සාර්ථකයි . හැබැයි ඒ නියම රසය විඳින්න තියන බාධාවත් අර අයගේ බොරු දැඟලිල්ල තමයි
  • දක්ෂ රංගන ශිලිපීන් වුන අර්ශාද් සහ රිතෙශ් ගේ නියම දක්ෂතා නම් මේ චිත්‍රපටියේ මතුවෙන්නේ නැ . ඒ වුනත් සංජේ දත් , මල්ලිකා ශෙරාවට් සහ කන්ගනා රනාවුට්ගේ ගේ රංගනය නම් සැහෙන තරම් හොඳයි
  • මැත කාලින බොලිවුඩ් සිනමාවේ ගීත ජවනිකා වල දකින්න තියන අපූර්වත්වය නම් මේ චිත්‍රපටියෙත් සැහෙන්න දකින්න පුලුවන් . ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගත ගීත වගේම සංගීතයත් සැහෙන්න හොඳ මට්ටමේ පවතිනව
  • අර කලින් කිව්ව "අධි රංගන " ස්වාභාවය එහෙමත් නැත්නම් බොරු දැඟලිල්ල විඳ දරාගෙන බලන් ඉන්න පුලුවන් නම් සාමාන්‍ය වශයෙන් රසවිඳින්න පුලුවන් නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්
Ratings
  • Direction -1/5
  • Celebrities' Performance -2/5
  • Story - 3/5
  • Script - 1/5
  • Cinematography - 2/5
  • Music -3/5
  • Choreography -35
  • Art Direction - 2/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2/5

විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාරචිත්‍රපටියේ තියන අඩුපාඩුකම් නිසා විචාරකයින් බොහෝ ද්ගෙනෙක් ගෙන් ලැබුනේ එතරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි . නමුත් ආර්ථික වශයෙන් චිත්‍රපටිය ආසාර්ථ වුනේ නැහැ

Monday, July 18, 2011

පරිඝනක භාවිතයේදී මම කැමතිම වෙලඳනාම |Brands I like in Computing

Note - මෙම ලිපිය සිතුවිලි පවුර බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පලකරන ලද්දකි 


මාතෘකාව දැක්කාම කියවන අයට හිතෙන්න පුලුවන් මේ වෙලඳ දැන්වීමක් වගේ එකක් නේද කියල . මේ ලිපිය නිසා වෙලඳ නාම කිහිපයකට ප්‍රචාරණයක් ලැබුනත් ඒවා ප්‍රචාරණය කරන එක නම් නෙවෙයි මගේ අරමුණ (අයේ එහෙම කලා කියල මට කවුරුත් සල්ලි දෙන එකක් යැ ) . පරිඝණක  භාවිතා කරන අපේ සහෝදර සහෝදරියන්  ගොඩ දෙනෙකුට යම් නිශ්පාදනයක් මිලට ගන්න යන කොට  මගේ අත්දැකීම් ප්‍රයෝජනවත් වේය කියල හිතාන තමයි මේ ලිපිය ලියන්නෙ


 මෙතනදි මම මූලික කාරණා දෙකක් අනුව තමයි මේ වෙලඳ නාම තෝරා ගත්තෙ

01) ක්‍රියාකාරීත්වය

02) කල් පැවැත්ම

සාමාන්‍යයෙන් ඉතින් අපිට ඕනිම උපාංගයක තියන වැදගත්ම කාරණා දෙක ඔය දෙක නේ . හරි දැන් යමුකො ඒ මොනවද කියල බලන්න


Creative Audio Devices | Creative නාද උපාංග

පරිඝනකය ගීත ඇසීමට , චිත්‍රපට නැරඹීමට හෝ පරිඝනක ක්‍රිඩා කිරීමට භාවිතා කරන අයට පරිඝනකයේ නාද නිකුත් වීම සඳහා බොහෝ වෙලාවට අතිරේක ස්පීකර් පද්ධතියක් භාවිතා කරන්න සිද්ධ වෙනව . මේ සඳහා මම තෝර ගත්තේ උඩින් ලියල තියන සමාගමේ උපකරන . ඒ 2004 දි . 4.1 ස්පීකර් කට්ටලයකුත් , අදාල සමාගමේම සවුන්ඩ් කාඩ් එකකුත් තමයි ඒ . බලාපොරොත්තු වුන විදිහටම ඉතාම ඉහල ගනයේ සංගීත හා නාද අත්දැකීමක් මේ කාලය පුරාවටම ලබාදෙන්න ඒ උපකරණ වලට හැකි වුනා කිව්වොත් නිවරදියි . වින්ඩෝස් Xp ටත් කලින් OS සඳහා නිර්දේශ කල සවුන්ඩ් කාඩ් එකක් උනත් වින්ඩෝස් 7 දක්වාත් කිසිම ගැටලුවක් නැතුව Drivers  භාගත කරගෙන භාවිත කිරීමේ හැකියාව ලැබුනා . අකුණු කරදරයක් නිසා මේ උපකරන අඩපණ උනායින් පස්සෙ ගත්තු 5.1 ස්පීකර් පද්ධතියත් , මිතුරෙකු හර්හා ගෙන්න ගත්ත USB මගින් සම්බන්ධ කරන්න පුලුවන් (භාහිරව ) External Sound Card  එකත් බලාපොරොත්තු  වුනාටත් වඩා සාර්ථකයි කියල කියන්න පුලුවන් . අපේ ගම් ප්‍රදේශයේ (රත්නපුර )  තියන සිනමා ශාලා වලටත් වඩා හොඳ නාද සංකලනයක් චිත්‍රපටි සඳහ ලබාදෙනව වගේම Stereo  නාද සහිත Mp3  වලටත් 5.1   ආකාරයේ සංකලනයන් මුසු කරන්න මේ උපකරණ වලට හා ඒ මෘදුකාංග වලට හැකියාව තියනව . මම දැනට භාවිතා කරපු Sound Cards  දෙකම UBUNTU වලදිත් 5.1 උපකරන ලෙස හඳුන්වාදීම ඉතාම පහසුවෙන් කරන්න පුලුවන් .මම භාවිතා කරපු උප්කරණ මධ්‍යම මිල ප්‍රමාණවල ඒවා . ඊටත් වඩා හොඳ විශේෂිත නාද උප්කරන රාශියක්ම Creative සමාගම නිපදවනව.එක් විශේශ කාරනයක් සඳහන් කල යුතුයි . ඒ තමයි ඔබ Creative ස්පීකර් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් Creative සමාගමේම Sound Card  එකකුත් භාවිතා කලොත් තමයි සාර්ථක ප්‍රතිපල ලැබෙන්නෙ කියන එක

Intel Mother Boards |Intel මවු පුවරු

මවු පුවරුවක ක්‍රියාකාරිත්වය නම් ඉතින් මැන ගන්න අමාරුයිනේ . ගත්ත දවසෙ ඉඳන් ලෙඩ දෙන කරදර කාරී මවු පුවරුවකට වොරන්ටිය ගන්න බැරි උනොත් මිසක ඉතින් මවු පුවරුවක ක්‍රියා කාරීත්වය ගැන විශේෂයෙන් කථා කරන්න දෙයක් නැ . ඒ නිසා කල්පැවැත්ම පැත්තෙන් තමයි ඒ ගැන කථා කරන්නේ . මගේ ඉන්ටෙල් ම්වු පුවරුව අරගෙන තාම වෙන්නේ අවුරුදු 3ක් වුනත් සැහෙන අල කලංචි වලට මේ වෙනකොට මුහුණ දීලයි තියෙන්නෙ . එක් වතාවක් මොඩමය හරහා දරුණු අකුණක් වැදුනා . පැය 4ක් පහක් යන් කන් වැඩ නොකර තිබිලා නිකන්ම හරි ගියා . දවසක් දෙකක් යනකන් පිස්සු නැටුවත් ඊට පස්සෙ බබා වගේ වැඩ .. ඊලඟ වතාවේ අකුණ නම් බරපතලයි . රවුටරය, VGA කාඩ් එක , අර කලින් කිව්ව ස්පීකර් සෙට් එක කියන ඔක්කොමටම වැඩෙ කෙල වුනත් මවු පුවරුවෙන් පිච්චුනේ නෙට්වර්ක් පෝර්ට් එක විතරයි . ඊලඟ අකුණ වැදුනේ  ගෙදර විදුලි පද්ධතිය හරහා පවර්   යුනිට් එක පිච්චිල යන්නත් සවුන්ඩ් කාඩ් එක චිරි, චිරි ගාණ තත්වයට පත්වෙන්නත් ඒ අකුණ ප්‍රභල උනාට මවු පුවරුව නම් බබා වගේ වැඩ . ඊට අමතරව UPS එක නැති වෙලාවක බරපතල විදිහේ  විදුලිය වෙනස් වීම් අවස්ථා දෙකකුත් ලඟ ලඟම සිද්ධවුනා වතාවක් , ඒත් මවු පුවරුව බොහොම හොඳින් වැඩ . මෙච්චර කලබැගැනි වෙලත් මගේ ම්වු  පුවරුව වැඩ කරත්දි ඉන්ටෙල් චිප්සෙට්ම තියන වෙනත් සමාගම් වල මවු පුවරු සුලු විදුලි බල කාන්දු වගේ ඒවා නිසා පිච්චුන  අවස්ථා කිහිපයක්ම මම දැකල තියනව . අමුතු වාසනාවක් බලපාල නෙවෙයි නම් ඉතින් ඉන්ටෙල් කියන්නේ හොඳ කල්පැවැත්මේ ශක්තියක් ඇති මවුපුරුවක් කියල කියන්න පුලුවන්

Samsung Optical Drives |Samsung සිඩි/ඩිවිඩි රොම්

සිඩි/ඩිවිඩි රොම් එකකින් අපි බලාපොරොත්තු වෙන්න දාන ඕනිම තැටියක දත්ත හොඳින් භාවිතා කරන එකනේ . මෙතනදි නම් හොඳ දේ දැන දැනත් වෙන කෙනෙක්ගෙ කීමට වෙනත් ප්‍රසිද්ධ බ්‍රැන්ඩ් එකකට ගිහින් කෙලවෙලා තමයි මම ඉන්නේ . සැම්සුන් සමාගමේ ඩිවිඩි රොම් එකක් හා ඩිවිඩි රයිටරයක් කියන දෙකම මම කාලෙකට ඉහත භාවිතා කලා . ඒ වායේ වැඩ නොකරපු තැටියක් නැය කියන තරමට ඒවා ඉතා හොඳින් ක්‍රියා කලා . පරණ වෙලා තිත් වැටුණු (තිත් ටික යවා ගන්නත් බැරි ) ඒවා, බල්ලො පහුරු ගාපු ගානට හීරිච්ච ඒවා,  හදිසියට 48 වගේ වේගවලින් බර්න් කරපුව වගේ ඕනි එකක් වැඩ කරවා ගන්න හැකියාව තිබුනා. විඩියෝ කුලියට දෙන තැන එකා මේක නම් වැඩ කරයිද දන්නේ කොල්ලෝ .. කියල දීපු ඒවත් වැඩ කරගන්න පුලුවන් කම ලැබුන . අඩුම තරමේ දත්ත ටික කොපි කරගන්නවත් තරමට . හැබැයි ඉතින් දැන් භාවිතා කරන සමාගමේ උපකරණ වලින් නම් මුලු ධාරිතාවම පිරෙන්න බර්න් කරපු තැටියක අවසන් ටික භාවිතා කරන්නෙත් අමාරුවෙන් ඒ නිසා . ඔප්ටිකල් ඩ්‍රයිවස් සඳහා මගේ නිර්දේශය නම් සැම්සුන්ග් තමයි

A4Tech Head Set 


හෙඩ් සෙට්වර්ග නම් ඉතින් බොහොමයක් තියෙයිනේ .මම භාවිතා කරන්නෙ ඔය කලින් කියල තියන සමාගමේ නිෂ්පාදනයක් රු 700 ගානක එකක් . සින්දු අහන්න එහෙම නම් සතපහකට වැඩක් නැතත් ස්කයිප් කෝල් වගේ අවශ්‍යතාවන්ට නිසා මට මේක ඉහටත්  උඩින් . විශේෂත්වය තමයි කල්පැවැත්ම . මේක අරගෙන වසර 21/2 විතර වුනත් කිසිම කරදරයක් නැතුව තාම වැඩ . ඒ මදිවට වයර් එකේ කකුල පැටලිලා බිම වැටුණු වාර සැහෙන්න තියනව (50කට වැඩි වාර ගණනක් ) . ඒත් අවුලක් වෙලා නැහැ . හැබැයි මගේ යාලුවන් කිහිප දෙනෙක් ගේ රු 1500 - 2000 අතර මිල ගණන්වල ඒවත්  බිම වැටුණු පලවෙනි පාරෙන් කැඩුණු අවස්ථාත් තියනව . ඒ නිසා ඇමතුම් ගැනීමේ වැඩවලට විතරක් යොදා ගන්නවා නම් රළු පාවිච්චියට මරු උපකරනයක්ය කියල කියන්න පුලුවන්


ඔය තමයි විශේෂයෙන් දෙයක් ලියන්න තිබුන වෙලඳ නාම . ඊට අමතරව මම සැම්සුන්ග් මොනිටර වලට කැමතියි හැබැයි ඉතින් ඒකට විශේෂ හෙතුවක් නම් කියන්න බැ . ලිපිය කියවල ඕගොල්ලන්ගෙ අත්දැකීමත් එකතු කරල යන්න . ආ.. තව එකක් මම වගේ අකුණු වද්ද ගන්න යන්නවත් උප්කරන බිම දාගන්නවත් එපා ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න :)


Thursday, July 14, 2011

Ready චිත්‍රපට විචාරය |Ready Movie Review

මෙම ලිපිය බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහිපලකල එකක් වන අතර .එම අඩවිය මඟින් සිතුවිලි පවුරටද එකතු කර ඇත . ඒ තැන් වලදී නොකියවූ කෙනෙක් වෙනුවෙන් මෙසේ මාගේ බ්ලොග්  අඩවියට එකතු කරමි .

මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය වන Ready චිත්‍රපටිය ගැන බොලිවුඩ් සිංහලෙන් අපි ඔබවෙත තොරතුරු අරන් ආවා , ඒ වගේම  DVD පටය නිකුත් වීම පිලිබඳවත් ඔබව දැනුවත් කලා  .චිත්‍රපටියේ මූලික තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න පුලුවන් .

කථාව 

ප්‍රේම් කියන්නේ  මුදල් හදල් යහමින් තියන පවුලක බොහොම දඩබ්බර තරුණයෙක් . මේ තරුණයාව තැන්පත් කරන්න හිතානා පවුලේ අය මනාලියක්ව මුණ ගස්සන්න තිරණය කරනව . නමුත්  අහඹු  සිදු වීමක් නිසා ප්‍රේම්ට සන්ජනා කියන තරුණිය මුණ ගැහෙනව . සන්ජනා කියන්නේ පාතාල ලෝකයේ දැවන්තයින් වුන තමන්ගේ මාමා වරුන්  අතර තරඟය නිසා ඒ ඒ මාමා වරුන්ගේ පුතාලාට විවාහ කර දීම සඳහා කඹ ඇදිල්ලක හිර වෙලා ඉන්න තරුණියක් . එතනින් පැනල එන සන්ජනා ප්‍රේම් මුණගැහීමත් එක්ක ප්‍රේම්ට ආදරය කරන්න පටන් ගන්නව . මේ දෙන්නගෙ ආදරේට ප්‍රේම්ගෙ පවුලෙ අයගෙ ආශිර්වාදයත් සම්පූර්ණයෙන්ම ලැබෙනව . හැබැයි ඉතින් සන්ජනාව තමන්ගේ පුතාලට බන්දල දෙන්න තරඟයක ඉන්න පාතාලා මාමල මොනව කරයිද , ප්‍රේම් ඒ වට කොහොම මුහුණ දෙයිද ? /........ ඒ දේවල් චිත්‍රපටිය නර්ඹලාම දැන ගනිමු නේ

Editor's Comments | අපේ අදහස



  • කථාව දිහාව බැලුවාම පේන විදිහටම මේක තනිකරම පරණ හින්දි සිනමා වට්ටෝරුවේ  චිත්‍රපටියක් .සූර වීර කොල්ලා අහිංසක කෙල්ල , දුෂ්ට මමා වරුන් , මැද්දෙන් ඔබ්බපු ගීත ජවනිකා ආදිය අඩුපාඩුවක් නැතුම මේ චිත්‍රපටියට අඩංගු වෙලා තියනවා
  • සාම්ප්‍රදායික ලක්ෂණ පිරිල තිබුනත් චිත්‍රපටියට යම් කිසි රසයක් එකතු කරන්න සමත්වෙලා  තියනව චිත්‍රපටියට එකතු කරල තියන නවාංග නිසා. ඒ නිසා පරණ චිත්‍රපටියක් බලන ආකාරයේ කම්මැලි කමක් නම් දැනෙන්නේ නැ කියල කියන්න පුලුවන්
  • හාස්‍යොත් පාදක ජවනිකා හා සිදුවීම් මේ නවාංග අතරින් ප්‍රධානයි කියල කියන්න පුලුවන් . කොහෙන් හරි ඔබ්බපු ජෝකර් කෙනෙක් වෙනුවට  මූලික කථා තේමාව හරහාම හාස්‍ය උපදවන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියනව . විශේෂයෙන්ම චිත්‍රපටියේ දෙවන භාගය හාස්‍යයෙන් පිරිලාය කිව්වත් නිවැරදියි
  • අනව්ශ්‍ය තැන් වල ඔබ්බපු ගීත සැහෙන තරම් තිබුනත් ඒවායේ රූප මය ලක්ෂණ වර්ථමාන හින්දි සිනමාවට ආවෙණිකයි කියල කියන්න පුලුවන් . වට්ටෝරු ගත සිනමාවෙ දකින්න ලැබෙන ගීතමය ජවනිකා වලට වඩා අලුත් කැමරා කෝන හා තවත් සිනමා කරණ ගුණාංග රාශියක් මෙහි භාවිතා කරල තියන නිසාත් ගීතත් සාමන්‍ය  වශයෙන් අලංකාර නිසාත් ගීතමය ජවනිකා අපිට ලොකු වාතයක් නම් වෙන්නෙ නැ 
  • වීරය ගහනව දුෂ්ටය වැටෙන සටන් ජවනිකා භාවිතා උනත් ඒවාත් සාම්ප්‍රදාය ඉක්මවා ගිය වර්ථමානයට යම් තරකින් හෝ ගලප්පන්න පුලුවන් ආකාරයට රූගත කරල තියනව . ඒ ඇරුණාම සමස්ථ සිනමා පටයේම  රූප රාමු භාවිතයත් අර පරණ වට්ටෝරුව්ට අලුත් මුහුණුවරක් ලබා දෙන්න සමත් වෙලා තියනවා කියන එකත් පැහැදිලියි
  • සල්මාන්ගෙ අතිශයින් ජනප්‍රිය වුන  Dabaang සහ Wanted චිත්‍රපටි එක්ක මේ චිත්‍රපටිය ගැන කථා කලත් බොහොම ගැඹුරු චරිත සහිත Dabaang චිත්‍රපටියේ අහලකටව්ත් එන්න Readyට හැකියාවක් නැතෙයි කියලයි චිත්‍රපටිය බැලුවට පස්සෙ හිතෙන්නෙ 
  • හිනා වෙන්න කැමති අයට නම් ඉහලින්ම නිර්දේශ කලත් , හොඳ කථාවක් බලාපොරොත්තු වෙන අයට නම් මේ චිත්‍රපටිය ගැලපෙන එකක් නැහැ . එහෙම හිනාවෙන්න කැමති අය සහ සල්මන්ගේ හා අසින්ගේ රසිකයින් නොවෙන අයට නම් මේ චිත්‍රපටිය වැඩක් නැතිවෙයි .  
Ratings



  • Direction - 2.5/5
  • Celebrities' Performance -3/5
  • Story - 2/5
  • Script - 2.5/5
  • Cinematography - 3/5
  • Music - 2/5
  • Choreography -2.5/5
  • Art Direction - 2.5/5
  • Action - 2.5
  • Editing - 2/5
  • Special Effects - N/A 
  • OVERALL -2.5/5

Wednesday, July 6, 2011

සංගා කියු දේ තේරුම් ගනිමු | Let's Understand Sanga's Speech

ශ්‍රි ලාංකිකයෙකුට  ආඩම්බරයෙන් සිහිපත් කල හැකි අවස්ථාවක් ලද සංගා සිදු කල  කථාවද ශ්‍රි ලාංකීය ක්‍රිඩා ලෝලීන් ගෙ හදවත් තුල පමණක් නොව ලොව පුරා ක්‍රිඩා ලෝලීන් දහස් ගණනකගේද සිත් තුල දිගු කලක් රැව් පිලි රැව් දෙනු ඇත . සොඳුරු ක්‍රිඩාවක් දේශාපාලනීකරණය වීමේ විපාක අත්විඳිනා පලමු දේශය අප නොවූවත් , අප මේ වන විට ගත කරමින් සිටින්නේ එහි අඳුරුතම  අවධිය බැව් නම් පැහැදිලිය . ක්‍රිකට් ලෝලීන් අතර කොතරම් කථා බහ වුවත් මෙතෙක් කල් ක්‍රිඩාවේ නියුතු කිසිදු ක්‍රිඩකයෙකුගෙ මුවින් නොනික්මුන නිර්භීත ප්‍රකාශය සිදු කල සංගා තමන් විශිෂ්ඨ ක්‍රිඩකයෙකු මෙන්ම කශේරුකාවක් ඇති මිනිසෙකුද වන බැව් ලොවටම සනාථ කලේය .


දැන්  ඉතිරිව ඇත්තේ වගකිව යුත්තන්ගෙ කාර්යභාරයයි . සංගාට දේශද්‍රෝහි ලේබල් ඇලවීම  හෝ සංගාගේ අයිපීල් සල්ලි පිලිබඳ බලු කථා හැදීම වැනි  තුච්ඡ ක්‍රියා වෙනුවට අවශ්‍යව ඇත්තේ බහුතර ශ්‍රි ලාංකිකයින්ගේ හදගැස්මට බද්ධ වූ සොඳුරු ක්‍රිඩාව , දේශපාලන මඩගොහොරුවෙන් හා වංචා දූෂණයෙන් ගොඩ  ගැනීමයි .

Tuesday, July 5, 2011

හදවතට දැනෙන දේ හඬගා කියන්නට අවසරයි !

හදවතට දැනෙන දේ හඬගා කීමේ පලමු පියවර තමයි  මේ. අවට ලෝකයේ සිදුවීම් ගැන වගේම මගේ  අත්දැකීම් ආදියත් බෙදා හදාගන්නයි මේ බ්ලොග් අඩවිය හරහා සූදානම් වෙන්නෙ .  මේ බ්ලොග් අඩවියට එකතු කරන්න බලාපොරොත්තු වෙන ලිපි වල වර්ගීකරණයක් බ්ලොගයේ ඉහලින් සටහන් කරල තියනව . ඒ ඒ කාණ්ඩයට අදාල ලිපියක් ලියවුනාම ඒ පිටු වල අදාල ලිපිය ලයිස්තුගත වේවි .  මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නය කියල හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනව . සුභ දවසක් !
Related Posts Plugin for WordPress, Blogger...